Thursday, July 4, 2013

පස්වන මිහිදු රජතුමා

අනුරාධපුර රාජධානියේ අවසාන රජු වූ මිහිදු කුමරු පස්වන සේන රජුගේ බාල සොහොයුරාය.මොහු රජවන විට අනුරාධපුරයේ දේශපාලන තත්ත්වය බොහෝ ව්‍යාකූලව පැවති බව පෙනේ.පස්වන මිහිදු රජුද පස්වන සේන රජු සේම සේන සෙනෙවියාගේ බලපෑම්වලට ගොදුරු වී ඇත.රජු ඉතා මෘදු ප්‍රතිපත්ති අනුගමනය කළ දුර්වල පාලකයෙකු වූයෙන් රට වැස්සෝ බදු ගෙවීම ප්‍රතික්ෂෞප කළහ. ඔහුගේ දසවන රාජ වර්ෂයේදී යුද හමුදාවට වැටුප් පවා ගෙවීමට නොහැකි වූයෙන් කේරල භටයන් මාලිගාව වටලා රජුට විරුද්ධව කැරලි ගැසූ බවත් ඔවුන්ගෙන් බේරීම සදහා රජු රහස් අමගකින් මාලිගයෙන් පැන ගොස් රුහුණට පලා ගිය බවද සදහන්ය.එසේ ගිය රජු කප්පගල්ලකගාම නම් ස්ථානයෙහි නුවරක් කරවා රුහුණේ වාසය කළේය.ඒ අතර කේරල.සිංහල හා කර්ණාට භට හමුදා ඔවුන්ට රිසි පරිදි රටේ සෙසු ප්‍රදේශයන්හි බලය පවත්වාගෙන ගිය බව කියැවේ.මේ තත්ත්වය දැනගත් පළමුවන රාජ රාජ නම් වූ සොළී රජ විශාල හමුදාවක් මෙරටට එවීය.අනුරාධපුරයට ආ සොළීහු නගරය සහමුලින්ම කොල්ල කා අනුරාධපුරයේ තිබූ පාලන මධ්‍යස්ථානය පොළොන්නරුවට ගෙන ගියහ.
මිහිදු රජුගේ 36 වැනි රාජ වර්ෂයේදීද තවත් චෝල රජෙකු මෙරට ආක්‍රමණය කර තිබේ.සෙල්ලිපිවලට අනුව ඔහු පළමුවන රාජ රාජ රජුගේ පුත් පළමුවන රාජේන්ද්‍ර රජුය.ඔහු එසේ කර ඇත්තේ මුළු දිවයිනම යටත් කර ගනු සදහාය.ඒ වන විට ශ්‍රී ලංකාවේ උතුරු කොටස ඔවුන්ගේ ග්‍රහණය යටතේ පැවතියත් ඔවුන් විසින් යටත් කරගත යුතුව තිබුණේ මහවැලි ගඟින් හා කළු ගඟින් දකුණේ තිබූ රුහුණු ප්‍රදේශය පමණි.
සොළීන් විසින් රුහුණු රට ආක්‍රමණය කරනු ලැබූ අවස්ථාවේ දී මිහිදු රජු ඔවුන්ට විරුද්ධව කිසිදු සටනක් කිරීමට ඉදිරිපත් වී නැත.රජු මොහෙසියද කකුධ භාණ්ඩද ගෙන වන දුර්ගයකට ගොස් බියෙන් සැඟ වී සිටි බව කියැවේ.
පසුවන මිහිදු රජු එසේ කිසිදු සටනකින් තොරව සොළීන්ට යටත් විණැයි වංශකතාවල සඳහන්ව තිබුණද රජු හා සොළී සේනා අතර දරුණු සටනක් වූ බව පළමුවන රාජේන්ද්‍ර චෝල රජුගේ හයවන රාජ වර්ෂයට අයත් රාජ රජේශ්වර කෝවිල් සෙල් ලිපියෙහි සඳහන්ව ඇත එහි සඳහන්ව ඇත්තේ රජ සොළීන් හා මුහුණට මුහුණලා සටන් කළ බවත් ඉන් පැරදී යටත් වූ බවත්ය.කෙසේ වුව මේ ආක්‍රමණයේදී සිව්වන දප්පුල රජුගේ කාලයේදි ඔහු වෙත තබා ගිය පාණ්ඩ්‍ය කකුධ භාණ්ඩද අත්පත් කර ගැනීමට සොළීන් සමත් වූ බවද වැඩිදුරටත් සඳහන්ය.
මේ ආක්‍රමණය මෙහෙය වූ සොළී සෙනෙවියා එම භාණ්ඩ හා වෙනත් බොහෝ වස්තූන් පමණක් නොව මිහිදු රජු හා බිසවද තමාගේ රටට යැවූහ.චෝල සෙල්ලිපි අනුව මේ ආක්‍රමණයෙන් පසු මුළු ලංකාවම ඔවුන්ගේ ආධිපත්‍යයට නතු විය.එහෙත් එය සත්‍යයෙන් තොරය.පොළොන්නරුව රාජධානිය කරගත් සොළීහු රක්ඛපාෂාණකණ්ඪ නම් ස්ථානය සීමා කොට රජරට පාලනය කළහ.රක්ඛපාෂාණ යනුවෙන් හැදින්වෙන්නේ වළවේ ගඟ ඉහත්තාවේ පිහිටි රක්වාන ප්‍රදේශය බව කියැවේ.ඒ අනුව මුළු රුහුණම ඔවුන්ට යටත් කර ගැනීමට හැකි වී නැත.
සොළීන්ගේ මෙම ආක්‍රමණයෙන් පසුවද රජවරුන් කිහිප දෙනෙකු විසින් රුහුණේ ඇතැම් ප්‍රදේශ පාලනය කළ බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇත.ඒ අනුව සොළීන්ගේ ආධිපත්‍යය රජරට හා රුහුණේ උතුරු කොටසට පමණක් සීමා වූ බව පිළිගත හැකිය.
පස්වන මිහිදු රජුගේ මරණය සිදු වූයේ ක්‍රි.ව.1029 දීය.ක්‍රි.ව.1017 දී සොළී දේශයට ගෙන යනු ලැබූ ඔහු මරණය තෙක්ම එහි විසීය.

No comments:

Post a Comment