Thursday, July 4, 2013

දාඨාපභූති මහරජතුමා

සීලාකාල රජුගෙන් පසු රජකමට පත්වූයේ දාඨාපභූති කුමාරයාය.මේ රජු දාපුලුසෙන් හා පළමුවන නමින් රාජාවලියෙහිද දාපුලුසෙන් නමින් පූජාවලිය හා නිකායසංග්‍රහයෙහි ද සඳහන් වේ.නීත්‍යානුකූලව රජය හිමිවිය යුතු වූයේ පාචීන දේශයේ භාරව සිටි වැඩිමහලු මුගලන් කුමරුටය.එහෙත් පියරජු මියගිය බව දැනගත් දාඨාපභූති කුමාරයා මලයරට සිට පැමිණ බලයෙන් සිහසුනට පත් විය.රජය හිමි ඔබට නොවේ යැයි යුක්තිය කථාකළ බාල සහෝදරයා වූ උපතිස්ස කුමාරයාද මරණයට පත් කළේය.මෙය මහත් කැළඹිල්ලක් ඇතිවීමට හේතු විය.මේ සියල්ල දැනගත් පාචීන දේශයේ සිටි මුගලන් කුමාරයා සිය උරුමය රැකගැනීමට හා යුක්තිය පසිදලීමටද ඉදිරිපත් විය.මෙහිදී බලවත් ගැටුමක් හට ගත්තේය.මුගලන් කුමරු බලසෙනඟ ගෙන ගොස් රෙහෙර කන්දේ කඳවුරු බැන්දේය.දාඨාපභූති රජුද බලසෙනඟ ගෙන ඉදිරියට ගියේ කිරිදිගල නම් තැන කඳවුරු බැන්දේය.මේ ස්ථාන නියත වශයෙන් අද හදුනාගෙන නැත.එහෙත් කිරිදිගල මිහින්තලෙන් සැතපුම් හතරක් පමණ දුරින් පිහිටි වර්තමාන මහකිරිදිගම නමින් හැදින්වෙන පෙදෙස විය හැකිය.
මුහුණට මුහුණලා සිටි මුගලන් කුමරු තෙමේ දාඨාපභූතිට කදිම යෝජනාවක් ඉදිරිපත් කළේය.සටන ඇත්තේ අප දෙදෙනා අතරය.මහජනයා අතර නොවේ.එබැවින් මහජනතාවට පීඩා නොකර අප දෙදෙනා අතර පමණක් සටන වේවා.මෙය වැදගත් ආදර්ශයකි.රාජ්‍ය උරුමය නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකිරීම බලලෝගී ක්‍රියාවක දාඨාපභූති කුමරු යෙදීම මේ සහෝදර ගැටුමට හේතු විය.දාඨාපභූති කුමාරයා යෝජනාවට කැමති විය.සිදු වූයේ ඉතා බිහිසුණු සටනකි.පංචායුද බදිනා ලද ඇතුන් පිට නැගුණු දෙදෙනාගේ ගැටුම් හෙණහඩ මෙනැයිද දළ ගැටුමින් නැගුණු ගිනි පුලිගු විදුලිය මෙනැයි ද මහාවංසය දක්වයි.දාඨාපභූතිගේ ඇතු මුගලන් කුමරුගේ ඇතුගේ දළින් ඇමිණි ලෙහෙයින් නැහැවී ගියේ සැදෑවලා මෙනී වී යැයි කාව්‍යමය වැණුමක් මහාවංසයට එක්විය.ජයගත නොහැකි බව දැනගත් දාඨාපභූති රජු සියදිවි හානිකරගත්තේ මුගලන් කුමරු එසේ නොකරන ලෙස වදිමින් ඇයද සිටිද්දීය.සටන අවසන් විය.දාඨාපභූතිගේ රාජ්‍ය කාලය මසකුත් එක් දිනකට සීමා විය

No comments:

Post a Comment