Thursday, January 9, 2014

දෙවැනි දප්පුල හා පළමුවන සේන රජතුමන්ලා

දෙවැනි දප්පුල රජුගෙන් අනතුරුව සිහසුන හිමිකර ගෙන ඇත්තේ නව වන අග්බෝය මේ රජු වසර දෙකකින් මිය පරලොව ගොස් ඇත ඒ අනුව පළමුවන සේන රජු ක්‍රි.ව.833 දී රජ පත් විය පළමුවන සේන රජුගේ කාලය තුළ ලක්දිව යළිත් ද්‍රවිඩ ආක්‍රමණයකට ගොදුරු වීම විශේෂ සිදුවීමක් විය මේ වන විට දකුණු ඉන්දියාවේ වැඩි ප්‍රදේශයක් ජටිල පරන්තක නම් පඩි රජු විසින් යටත් කරගෙන විශාල බලවත් රාජ්‍යයක් ගොඩ නඟා ගෙන ඇත එහෙත් ඔහුගෙන් පසුව රජ පැමිණි ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජු සිය විජිතය වඩාත් විශාල කර ගැනීමේ අටියෙන් ලක්දිව ආක්‍රමණය කිරීමට කටයුතු කළේය එය මීට වසර හාරසියයකට පමණ පෙර සතුරු ආක්‍රමණයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ පාලකයන් අපේක්ෂා නොකළ සිදු වීමකි
පළමුවෙන්ම විශාල නැව් හමුදාවක් සූදානම් කර ගත් ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජ ලක්දිව උතුරු වෙරළට සිය පාණ්ඩ්‍ය සේනාව ගොඩ බැස්වූහ අනතුරුව ඔව්හු සිය හමුදාව අනුරාධපුරය දෙසට මෙහෙය වූහ මෙහිදී සිදු වූයේ උතුරු ප්‍රදේශයේ මේ වන විට ජීවත් වූ දමිළයෝ ඉන්දියා දේශයෙන් පැමිණි මේ හමුදාවට එක් විය මේ වන විට සිංහල සේනාවේ සෙනෙවියන් අතරද භේද භින්න වී තිබුණි එබැවින් නිසියාකාර යුද සංවිධාන කටයුතු සිදු නොවීය ඒ නිසා වැඩි අපහසුවකින් තොරව සතුරු විදේශ හමුදාව අනුරාධපුරයට ම ගමන් ගත්තේය
මෙහිදී මිහිදු නම් යුව රජු දෙමළ හමුදාවට එරෙහිව වහා සටනට සූදානම් විය එහෙත් මේ අති විශාල පාණ්ඩ්‍ය සේනාවට මුහුණ දී ගෙන යුද්ධය ජය ගැනීම පහසු නොවීය සිංහල සේනාවේ දුබලතා එයට හේතු විය ඉමහත් චිත්ත ධෛර්යයකින් යුතුව යුව රජ සතුරු සේනාවට මුහුණලා බිහිසුණු සටනක නිරත වූහ ඔහුගේ සේනාව විනාශ වී සී සී කඩ විසිර ගියේය මෙහිදී සතුරන්ට අසුවෙනවාට වඩා ගෞරවයෙන් මිය යයි සිතූ යුව රජ සියතින්ම දිවි නසා ගත් බව සදහන්ය
මෙහිදී තම ඉදිරි ගමනට අවහිර කරන ලද සිංහල ජනතාවගේ විරෝධයද මැඩ පවත්වමින් දමිළ සේනාව අනුරාධපුරයට ඇතුළු වූහ රජ මාළිගාව , වෙහෙර විහාර සිංහල ප්‍රධානීන්ගේ නිවාස ආදිය විනාශ කොට වස්තු කොල්ල කා ගත්හ මෙම වස්තු සම්භාරය දෙමළ හේවායින් විසින් පැහැර ගත් බව කියති කෙසේ හෝ අනුරාධපුරය එවැනි කොල්ලයකට පෙර ගොදුරු නොවූ බව වංශ කථා හෙළි කරයි
යුව රජු ජීවිතක්ෂයට පත් වුවද දිවි බේරා ගැනීම සදහා පලා ගිය පළමු වැනි සේන රජු නැව් නැඟ යාමට සූදානම් වන විට පඩි රජුගේ දූතයෝ ඔහුව මුණ ගැසී ඇත පාණ්ඩ්‍ය සේනාව කොල්ල කා ගත් වස්තුවක් තවත් විශාල යුද්ධ වන්දියකුත් ගෙවීමට එකඟ වන්නේ නම් ලංකා රාජ්‍ය ආපසු භාර දී පිරිවර කැටුව යාමට ශ්‍රී මාර කැමති බැව් දූතයෝ සේනට කීහ සේන රජු මෙම යෝජනාවලියට කැමති වූ අතර ඒ අනුව විශාල යුද්ධ වන්දියක්ද රැගෙන ශ්‍රී මාර පඩි රජ ආපසු සියරටට ගියහ
අනුරාධපුරයට යළිත් ගිය සේන රජු ද්‍රවිඩ සේනාව විනාශ කරන ලද ගොඩනැගිලි රජ මාළිගා හා විහාරාරාම අලුතෙන් ගොඩනැගීමට ක්‍රියා කළේය එහෙත් අනුරාධපුරයේ පැරණි ශ්‍රී විභූතිය යළි මතු කිරීමට උගහට විය කෙසේ වුවත් භික්ෂු සංඝයා වෙනුවෙන් විහාරාරාම ආදිය ඉදි කළ පළමු සේන රජු ක්‍රි.ව.853 දී අභාවප්‍රාප්ත විය

No comments:

Post a Comment