Thursday, January 9, 2014

දෙවන කාශ්‍යප රජතුමා

රුහුණට පසු බැස ගිය අග්බෝ රජු මිය ගියද ඔහු විසින් රාජ්‍යත්වය පිළිබඳව දියත් කරන ලද වැඩ පිළිවෙළ එතැනින් නිමා නොවීය අග්බෝ රජුගේ පුත්‍රයා කාශ්‍යප වූ අතර යුව රජ තනතුර දැරූ ඔහු සේනා සංවිධානය කර ගෙන රුහුණේ සිට අනුරාධපුරයට සටනට ගියේය ඒ අනුව ජෙට්ඨතිස්සට අනුරාධපුරය අතහැර පලායන්නට සිදු විය එපමණක් නොව අනාගත බලාපොරොත්තු රඳවා ගෙන සිටි ජෙට්ඨතිස්ස රහසිගතව ඉන්දියාව බලා ගොස් ඇත
අග්බෝ රජුගේ පුත් කාශ්‍යපද ජෙට්ඨතිස්ස පිළිබඳ හොඳ අවබෝධයකින් විසීය කවර වේලාවක හෝ දෙටුතිස් ඉන්දියාවෙන් සේනා රැගෙන තමා හා සටනට එන බැව් ඔහු තදින් විශ්වාස කළේය එබැවින් දෙටුතිස්ගේ අභියෝගයට මුහුණ දීම පිණිස ඔහු නිරන්තරව ම සටනට සූදානමින් සිටියේය
කාශ්‍යප සිතූ ආකාරයට ම ඉන්දියාවේ සිට ද්‍රවිඩ සේනාවක් සමග පැමිණි දෙටු තිස් කාශ්‍යප සමඟ මහ සටනකට යොමු විය කෙසේ හෝ සූදානම්ව සිටි කාශ්‍යප ඔහුගේ ද්‍රවිඩ සේනාව සමග සටන් කර ඔවුන් විනාශ කළ අතර මෙම සටනේදී දෙටු තිස් මරු වැළඳ ගත්තේය අවුල් වියවුල් සහිත යුගයක එක්තරා විරාමයක් වශයෙන් එය හැදින්විය හැකිය දෙවිසි අවුරුද්දක් මුළුල්ලේ ලංකා භූමියේ රාජ්‍යත්වය පතා සිදු වූ අභ්‍යන්තර යුද්ධ ව්‍යාපාරය නිමවීම සිදු විය
අනතුරුව දෙවන කාශ්‍යප රජ ක්‍රි.ව.650 දී අනුරාධපුරය රාජ්‍යත්වයට පත් විය හෙතෙම නව වසරක් රට පාලනය කළ අතර එයින් පසු සිහසුන සිය බෑණනුවන් වූ මානා කුමරුට පැවරූ බව සඳහන් වේ
රට සුරැකීමේ කාර්ය මානා කුමරුට භාර කිරීමෙන් පසු රටේ ස්වාධීනත්වයට තර්ජනයක් බවට පත්ව තිබූ ද්‍රවිඩ බලය මැඩලීම සඳහා ඔහුට පියවර ගැනීමට සිදු විය ඉකුත් කාල සීමාව තුළදී ලංකා දේශපාලනයේ බලය ලබා ගැනීම පිණිස ද්‍රවිඩ සේනාවල ආධාර උපකාර ලබා ගැනීම විශේෂයෙන් කැපී පෙනේ
සිංහල රජවරුන්ගේ විදේශ ප්‍රතිපත්ති දෙස බලන විට දකුණු ඉන්දියාවේ එකිනෙකාට විරුද්ධ රාජ්‍යන් කීපයක් ඇති විටක එම රජ්‍යයන් අතර බලය තුලනය වීම උදෙසාද එයින් එක් රාජ්‍යයක් සමග හෝ එකම රාජ්‍යයක එකම පක්ෂයක් සමග සුහද සබදතා පවත්වා ගැනීමද ප්‍රධාන අංගයක් බැව් පෙනේ මෙම ප්‍රවණතාවය හේතු කර ගෙන තවත් රාජ්‍යයන් හෝ එකම රාජ්‍යයක වෙනත් ප්‍රභූ පිරිසක් හෝ සිංහල රජුනට විරුද්ධ වීම ඉතිහාසයේ දැක ගත හැකිය
පළමුවන දාඨෝපතිස්ස හා තෙවන අග්බෝ යන රජවරු සිය බලය තහවුරු කර ගැනීමට පිණිස මෙරට සටන්වලදී තනිකරම දෙමළ භට පිරිස්වල සහාය ලබා ගත්හ සිහසුන අත්පත් කර ගැනීම මෙන්ම තම ජීවිත ආරක්ෂෘව පිණිස මෙසේ වරින් වර සිංහල අධිපතියන් විසින් මෙහි ගෙන්වා ගත් මේ අගම්පඩි සේනාවෝ රටේ නොයෙක් තැන්හි විසිරී සිටියහ එසේම ඔවුන්ගේ හැසිරීම් රටාවද මෙරට සාමාන්‍ය ජනතාවට පීඩාකාරී විය මොව්හු වැසියන් සතු ගම්බිම් හා දේපල කොල්ලකාගත් අතර වෙහෙර විහාර ආගමික ස්ථාන කඩා ඒවායේ වස්තුව පැහැර ගත්හ මේ නිසා මෙම ද්‍රවිඩ පිරිස් මෙරටින් පිටමං කළ යුතු බැව් තේරුම්ගත් මානා කුමරු ඔව්හු කණ්ඩායම් වශයෙන් පිටුවහල් කළහ එහෙත් එය හිතූ තරම් පහසු නොවීය මානා කුමරු අනුරාධපුරයෙන් පිටවන තෙක් බලා ද්‍රවිඩ සෙනෙවිවරු අනුරාධපුරය අල්ලා ගත්හ

No comments:

Post a Comment