Thursday, January 9, 2014

තුන්වන අග්බෝ රජතුමා හා තෙවන ජෙට්ඨතිස්ස රජතුමා

තුන්වන අග්බෝ සටනින් පැරදී ඉන්දියාවට පළා යාමෙන් පසු ජයග්‍රාහක ජෙට්ඨතිස්ස තෙවන ජෙට්ඨතිස්ස නමින් රජකම හිමි කර ගත්තේය මේ අතර රටේ වියවුල් සහගත තත්ත්වයක් පැන නැගුණි ඒ ඉන්දියාවට පැන ගිය අග්බෝ නිරිදු ගේ ඥාතීහු රටේ තැනින් තැන කලබල ඇති කරන්නට පටන් ගැනීම නිසාය එයින් පසුව අග්බෝ රජු දෙමළ සේනාවක් කැටුව මෙරටට ගොඩ බැස කැරළිකරුවන්ට එක්කාසු විය ජෙට්ඨතිස්ස රජ සතුරු සේනා සමඟ යුද වැද යුද බිමේ දී ම සිය දිවි නසා ගත් බැව් සදහන්ය
තෙවන අග්බෝ රජු යළි අනුරාධපුරය අත්පත් කර ගෙන සිහසුන් පත් විය මේ වන විට සිංහල කුමාරවරු වරින් වර දකුණු ඉන්දියාවට ගොස් මෙරට අභ්‍යන්තර අරගල සදහා ඒ රටින් අගම්පඩි දෙමළ සේනාවක් රැගෙන ඒම පුරුද්දක් කරගෙන සිටියහ මේ නිසා මෙම හේවායින් ලංකාවේ නොයෙක් පෙදෙස්වල විසිරී සිටියහ ඔව්හු හිතුමතයේ විටින් විට ගැටුම් ඇති කර ගනිමින් මිනිසුන්ගේ දේපළ වස්තුව කොල්ලකමින් දාමරික කටයුතුවල නිරත වූහ මේ තත්ත්වය රටේ සාමකාමී පැවැත්මට තර්ජනයක් විය
මෙවැනි අභ්‍යන්තර අරගල පවත්නා අතරේ තෙවන ජෙට්ඨතිස්සගේ ඇමති දාඨ ශිව දකුණු ඉන්දියාවට ගොස් සේනාවක් රැගෙන අග්බෝ රජු හා සටනට පිවිසියේය මේ සටනින් අග්බෝ රජුට ජය ගත නොහැකි විය ඔහු යළිත් වරක් ඉන්දියාවට රැකවරණය පතා පැන ගියේය
අනතුරුව දාඨ ශිව ඇමතිතෙම පළමුවන දාඨෝපතිස්ස යනුවෙන් රජ විය දාඨෝපතිස්සට වැඩි කලක් රජ පදවිය ඉසිලීමට නොහැකි වූ අතර දෙටු තිස් රජු යළිත් දකුණු ඉන්දියාවෙන් සේනා රැගෙන විත් දාඨෝපතිස්සයන් පළවා හරින ලදී අනතුරුව ජෙට්ඨතිස්ස යළිත් රජකම හිමි කර ගත්තේය
මෙසේ වරින් වර රට තුළ ඇති වූ භේදකාමී තත්ත්වයක් හා එකිනෙකා අතර රජ පදවිය සම්බන්ධයෙන් ඇති වූ අරගල හේතු කරගෙන රටේ සාමය නැතිවී ගොස් දුර්භාග්‍ය සමයක් උදා විය සටන් නිසා කෙත් වතු පාළු වී ගියේය රටේ ධන සම්පත් විනාශ විය දුර්භික්ෂයක් ඇති විය යුද්ධ භටයන්ට චේතන ගෙවීම සදහා ධනය හිඟ වූ විට විහාරාරාමවලට අයත් වස්තු පැහැර ගත්හ අගම්පඩි ද්‍රවිඩ හේවායින් වරින් වර ජනතාව සතු සෙපළ කොල්ල කෑහ දාඨෝපතිස්ස ඉන්දියාවෙන් කැටුව ආ දෙමළ සටන්කරුවෝ දළදා මාළිගය හා රජ මාළිගය විනාශ කර ඒවායේ වටිනා දේපළ කොල්ලකා ගත්හ ථූපාරාමයේ ස්වර්ණමය කොත හා මැණික් එබ්බවූ ඡත්‍රය ද පැහැර ගන්නා ලදී
මේ අතර රජ පදවියට ලොබ බැද රජකම හිමි කර ගත් ඇතැම් රජවරුන්ගේ අනුගාමිකයින් ද ආගමික හා පොදු දේපළ කොල්ල කා ගත්හ අග්බෝ රජුගේ අනුදැනුම මත ඔහුගේ යුවරජ ථූපාරාම දාගැබ හා දක්ෂිණ ථූපාරාමයද බිද දමා ඒ පූජනීය ස්ථානවල නිධන් කර තිබූ රන් රිදී ආදී පූජා වස්තු පැහැර ගත්තේය අඛණ්ඩව කර ගෙන ගිය මේ සටන් වලින් අනතුරුව රුහුණට පසු බැස ගිය අග්බෝ රජු එහිදී රෝගාතුර විය අවසානයේ ඔහු එහි දී මිය ගිය බැව් ප්‍රකාශිතය

No comments:

Post a Comment